Monday, April 30, 2012


මගේ හිතත් හරිය කලවම් මැල්ලුමක් වගේ... හැම වර්ගෙම පලා කොළ  අස්සේ, සුද්ද කරද්දී මග අරුණ තණකොළත් තියනව. හිතේ තියන දේවල් එලියට ඇවිත් සර්කස් පෙන්නද්දී ලියන්නේ මොකද්ද කියල හිත ගන්න බැරුව මම උඩ බලාගෙන ඉන්නවා...
එක වෙලාවකට හිතෙනවා මගේ පිස්සු කතා අහන්න කව්ද ඉන්නේ කියල... ඒත් හිතේ තියන දෙයක් වචන වලට හරවා ගත්තම කියාගන්න බැරි අමුතුම “kick” එකක් හිතට දැනෙනවා... බොක්කෙන්ම ලියන අයට තේරෙනවා ඇති මම මොකක්ද කියන්නේ කියල.... මගේ වචන සෙට් එක අවුල් කියල මම දන්නවා... කෙල්ලෙක්ට කොහොමටවත් වටින් නෑ... ඒත් ලියාගෙන ලියාගෙන යද්දී හිතේ තියන data වචන වලට translate වෙන්නේ මෙහෙමනම් මම මොකද කරන්නේ...මේක මගේ system  එකේන්ම එන අවුලක් මම හිතන්නේ.
කොහොමත් පොඩි කලේ ඉදන් මගේ system අවුල් කියල මට තේරුණා. ඒ කලේ ඉදන්ම මට  මාර ප්‍රශ්න තිබ්බේ... හදේ හාවෙක් ඉන්නවා කිව්වම, මට හිතුනේ මුන්ට පිස්සු කියල...  හාවා කිරි පැණි ගේනවා කිව්වම හිතුනේ මුන්ට හොදටම පිස්සු කියල.
පොඩි කලේ තිබ්බ තව ප්‍රශ්නයක් තමා, light ගියාම tv එක ඇතුලේ හිටපු එවුන්ට මොකද වෙන්නේ කියන එක...? හැබැයි ලෝකේ රවුම් කියලනම් මට ඒ කලේ ඉදන්ම තේරුණා... ඒත් මට තේරුනේ නැත්තේ රවුමක් ඇතුලේ අපි ඉන්නේ කොහොමද කියල.. 4 වසරේ අරම්භක විද්‍යාවට කියල දෙනකම් මම හිතන හිටියේ, අපි ඉන්නේ ලෝක බොලේ ඇතුලේ කියල... ඒත් මම කල්පනා කරා අපිට උඩින් තියන මුහුදවල් වල වතුර කොහොමද ඇගට වැටෙන් නැත්තේ  කියල. 6 වසරට යනකම් මම හිතන් හිටියේ ගංගාවල් ගලන්නේ මුහුදේ ඉදන් කියල.. ඇයි දෙයියනේ සිතියම් වල ඇදල තියන ඔක්කොම ගංගා මුහුදෙන් පටන් අරන් උඩට එද්දී නැති වෙනවනේ..? ඉතින් මම හිතුව උඩට එද්දී වතුර බෙදිලා ගිහින් ඉවර වෙනවා ඇති කියල....
හැබැයි ලොකු වෙනකම්ම මට තේරුනේ නැති එක දෙයක් තිබ්බ... තාමත් මට ඒක තේරෙන්නේ නෑ... ඇත්තටම cricket  ගහන්නේ කොහොමද... පොඩි කලේ ඉදන් සෙල්ලම් කරත් මට තාම ඒක තේරෙන්නැ.
ඒ කලේ අයිය මාව හැමදාම දාන්නේ බොලේ එන්නේ නැතිම පැත්තට... මොකද බොලේ ආවත් මම කවදාවත් එක අල්ල ගන්නේ නැති නිසා... හැබැයි අපේ පැත්ත bating වෙලාවට ඔහේ ඉදගෙන ඉද්දි , මගේ පැත්තට බෝලයක් අවොත් මම ඒක ටක් ගාල අහුලලා දෙනවා... ඉතින් batmen  ඔලුවේ අත ගහගෙන පොඩි කලේ දන්න ඔක්කොම නරක වචන කියල මට බනිනවා... ඉතින් මම අඩාගෙන ගිහින් අම්මට කේලම කියනවා...  කොල්ලොත් එක්ක සෙල්ලමට නොයා වැඩක් කරගන්නවා කියල අම්ම මට බනිනවා.... ඔන්න ඔහොමයි ඉස්සර මම cricket ගැහුවේ...
මම කිව්වනේ මගේ හිත, එහෙම නැත්නම් මනස, මොකක් හරි මගේ මේ සිතුවිලි දරාගෙන ඉන්න දේ, කලවම් මැල්ලුමක් වගේ කියල.. මම ලියන්න හිතාගෙන අවේ මොකක් හරි බරපතල දෙයක් ගැන, මේ දවස් වල මොකද මන්ද මට ටික ටික බරපතල දේවලුත් හිතෙනවා... ඒත් අන්තිමට මම ලියල තියෙන්නේ වෙනමම දෙයක්... හැබැයි හිතට ඔහේ ගලාගෙන ආපු පොඩි කලේ මතකයන්ට මම කැමතියි... ඒ නිසා මේ ලියවුන ටික මම මෙහෙමම post කරන්නම්...බරපතල දෙයක් ගැන වෙන දවසක ලියන්නම්...