Wednesday, December 14, 2011

සුද්දා...

දවසක් අපේ තාත්ත ගෙදරට කෙසෙල් කැනක්ම ගේනවා... ඉතින් ගෙදර හැමෝම සාලෙට වෙලා සහයෝගෙන් කෙසෙල් කැනේ ඇවරි කපන්න පටන් ගනිද්දී තමයි  දැක්කේ... කෙසෙල් කැනත් එක්කම තාත්ත පුංචි මී පැටියෙකුත් ගෙදර ගෙනල්ල කියල... මීයා  දැක්ක විතරයි  අපේ තාත්ත  නිකම්ම කඩා පනින හමුදාවක්‌ බවට පෙරලුනේ  බලාගෙන් ඉද්දිමයි ... ලග පාත තිබ්බ ලොකු සේරෙප්පුවකුත් ගත්ත තාත්ත  කප කප හිටපු කෙසෙල් කැනත් දාල මීයාත් එක්ක ද්වන්ද සටනකට එළබුනා... මීය නම් හිටියෙ ජීවිතෙත් මරණයත් අතර සටනක... අපේ තාත්ත දීනාගෙන එනකොට මගේ යටිගිරියෙන් කරන උපරිම විලාපෙට පින් සිද්ද වෙන්න මීයට  ජිවිත් දානේ අරන් දෙන්න මට පුළුවන් උනා... එත් මගේ සත්ව කරුණාව අනිත් දවසේ උදේ වෙද්දී පත්තු වෙලා තිබුනේ, මීය කරපු උදව්වේ ගුණේවත් නොතිය  අපේ ගෙදර ෆැන්ට්‍රි කබඩ් දෙකකම ලොකු හිල් දෙකක් හදල තියනවා දැක්කමයි .... මීය නිසා මුළු දවසම මමත් බැනුම් ඇහුව... අපරාදේ කියන්න බෑ කබඩ් ටික හදපු වඩුවත් නොසැහෙන්න අහගත්ත...

මී කරදරේ එන්න එන්නම වැඩි උනා...අරින අරින කබඩ් එකේ දොර ගැලවිලා අතට එද්දී අපේ අම්මට උදේට අහන බණත් අමතක උනා ... ඊලග පාර නුවර ගියාම මී පාසනම් පැකට් එකකුත් ගෙදර ගෙනාව අම්ම කවදාවත් වස ටික පැකෙට් ඒකෙන් එලියටනම් ගත්තේ නෑ...
 මොනවා උනත් සතෙක් මරල පව්‍ පුරවා ගන්නේ මොකටද කියල කල්පනා කරපු අපේ ගෙදර කට්ටිය, එක ස්වභාවධර්මයෙන්ම විසදන්න තීරණය කරා ... ඉතින් අපි දන්නා කියන හැම තැනම හොයල  බැලුව හොද පුස් පැටියෙක් ඉන්නවද  කියල...  අම්ම කිව්වා විදිහට එක පව් නෑලු... මොකද පුස මියව මරන්නම ඕන නෑලු .. පුස් සුවදට මීයෝ යනවලු... ඉතින් අපි බලාගෙන හිටිය කවදද අපේ ගෙදරට පුස් වීරයෙක් ඇවිත් අපිව මීයගෙන් බේරාගන්නේ කියල... කොහොම උනත් අන්තිමට අපිට පුසෙක් හම්බ උන... පැපොල් වත්තක් මැද හාමතේ ගුලි වෙලා හිටපු පුංචි පුසෙක්... කොටු කැලි වගේ කකුල් හතරකින් ටෙනිස් බෝලයක් විතර පිම්බිච්ච බඩක්‌  අමාරුවෙන් උස්සගෙන හිටපු එයාව අයිය  වාහනේ දාගෙන ගෙදර උස්සන් ආව...... හැබැයි ඉතින් අපිට පුසව හම්බ වෙද්දී ගෙදර හිටපු මීය වයසට ගිහින්ම මැරිලත් ඉවරයි...

මොනවා උනත් ගෙනාපු පුස් පැටිය ICE AGE  එකේ SID වගේමයි. අපරාදේ කියන්න බෑ වැඩ ටිකත් SIDගේ වගේමයි... ඉතින් එදා ඉදන් එයා  SID උනා... හැබැයි ඉතින් කළු සිංහලයෝ ඉන්න අපේ ගෙදරට SID පොෂ් වැඩි වගේ හිතුන නිසා ටික දවසකින් SID සුදු උනා... සුදු  ටික දවසකින් සුද්දා වුනා. සුද්දා හරි ශෝකේ පුසා. හැමෝගෙම හිත දිනාගෙන ජිවත් උනා ... උදේට අම්මත් එක්ක පිරිත් ඇහුව... සුද්දාගේ කල්ක්‍රියාව කොච්චර හොදද කියනවනම් වත්තට එන ලේන්නු කුරුල්ලෝ එයාව තබෙකට ගණන් ගත්තේ නෑ... කොහොම උනත් මීය බය කරන්න ගේනව අපේ පුසා  අන්තිමට නතර උනේ උපාසක බලලෙක් වෙලා... හැබැයි ඉතින් එයා  මීයෝ දෙක දෙක අල්ලනවා තියා  මේ ලෝකේ මීයෝ කියල සත්ව  කොට්ටාශයක් ඉන්නවා කියල වත් දැනන්  හිටියද කියල මටනම් විස්වාස නෑ.....  
කවද හරි හිතිලා තියනවද ඔයා  ආදරේ කරන කෙනෙක් මැරුණොත් කොයි වගේ වෙයිද කියල... සමහර විට ඒක දැනටමත් අත්දැකලා තියන අයත් ඇති... එහෙම නොවුනත්, නිකන් හිතල බලන්න... ඔය ආදරේ කරන කව්රුම හරි....

මල ගෙවල් වලට ගිහින් අපි අනන්තවත් අඩල ඇති... එත් නිකමට හරි හිතිලා තියනවද ඇයි අපි අඩන්නේ, ඇයි අපි ඇඩුවේ කියල...? හිතන්නේ ඒ නැති වුන කෙනා වෙනුවෙන් අපි ඇඩුව කියලද? නෑ... හොදට හිතුවොත් තේරෙයි අපි අඩන්නේ අපි වෙනුවෙන් කියල.... අපි අඩන්නේ, අපිට දුක හිතෙන්නේ ඒ කෙනාට මේ ලෝකෙන් යන්න වුන නිසාද??? එහෙම නැත්නම් ඒ කෙනා ගියායින් පස්සේ අපේ ලෝකේ හැදෙන හිඩැස පුරවා ගන්න බැරුවද...??? ඊලග පාර හොදට හිතන්න... ඔයා අඩන්නෙත් මම වගේම ආත්මාර්ථකාමී කමටද කියල..?

Sunday, December 11, 2011

මම...

බ්ලොග් එක හදපු වෙලේ ඉදන් මම කල්පනා කරා මොනවද ලියන්නේ කියල ..පස්සේ මම හිතුව මුල ඉදන් පටන් ගන්නවා කියල. ඒ කියන්නේ මම නිර්නාමික මම මගෙන් පටන් ගන්නවා කියල හිතුව.

මම.... කව්ද මම... එක මම තවම හරියට දන්නේ නෑ... එක නිසා මම මගේ ගැන මතුපිටින් කියන්නම්...

මම ඉපදුනේ දඹුල්ලේ පුංචි ගමක... 1989 කලබල අස්සේ ....මම ඉපදිලා පැය තුනකින් අම්මගේ ටිකට් කපල ගෙදර එව්වලු... මරල දාපු තරුණ කොල්ලන්ගෙන් පාර දිගට හදපු පෙති පහේ ටයර් මල් බල බල අපේ අම්මයි තාත්තයි මාව ගෙදර ගේනාවලු... ගෙදර අපු ගමන් අපේ අයිය, හොදට මගේ දිහා බලාගෙන ඉදල එක පාරටම මට දිඩින් ගාල  ගැහුවලු... ඒ මම එයා අම්මා ඉස්පිරිතාලේ ඉදන් ගේනකම් බලන් හිටපු මල්ලියා නොවී නංගියෙක් වුන නිසාලු...  අයියගෙයි මගෙයි පලවෙනි හමුවීම එහෙම උනත් ඉස්සරහට යද්දී එයා මගේ ජීවිතේ ලොකු කොටසක් උනා... මගේ අයිය... එයා තමයි  ඒ කාලේ මගේ ජීවිතේ හිටපු ලොකුම දුෂ්ටයා.. ඒ වගේම මගේ හොදම යාළුවා...  හොර වැඩ කරන්ඩ ගියාම විශ්වාසවන්තම සහයකයා..... තාමත් ඒක එහෙමමයි... එත් තවදුරටත් එයා දුෂ්ටයෙක් නම් නෙමෙයි...

මට අක්ක කෙනෙකුත් ඉන්නවා ... එයා මට වඩා අවුරුදු හතක්ම වැඩිමල් නිසා, පොඩි කලේ මම එයත් එක්ක වැඩි ආශ්‍රයකට  ගියේ නැ... එත්  මට මතකයි  එයා මටයි අයියටයි අරලිය ගහ යට තිබුන අපේ සෙල්ලම් ගෙදර ඇතුලේ උයපු ඇත්තම කිරිබත් කන්න දුන්න කියල ... කාල ඉවර උනා ගමන් අස් කරන්න වෙනවට, මම සෙල්ලමේ නැ කියල අයිය ගියපු හැටිත් මට මතකයි....  

අම්මටයි තාත්තටයි අක්කටයි අයියටයි අමතරව මට ඉන්නවා පුංචි කෙනෙකුත්... හැබැයි මේ වෙනකොට එයා මගේ ජීවිතේට බරපතල විදිහට ඇවිත් නැ... එයා එන්නේ මම ඉස්කෝලේ යන්න පටන් ගනිද්දී...එතකන් අපි එයා ගැන කතා නොකරමු.... මි‍ට අමතරව අපේ ගෙදර අය ගැන කියනවනම්, මේ අවුරුදු 22ට අපේ ගෙදර බල්ලෝ බළල්ලු සැහෙන්න ගොඩකට  ගෙදර වෙලා තියනවා....

මගේ පොඩි කලේ.... එක ගැනනම් ලියන්න දේවල් ගොඩයි... පොඩි කලේ මට හිටිය යාලුවෝ වුනේ අයියගේ යාලුවොමයි..... අපේ සෙට් එක මට තාම මතකයි... කළු අයිය... සෙට් එකේ ලොක්ක.. එයා දෙයක් කිව්වොත් අපිට එච්චරයි.... කළු අයිය හද පෙන්නලා ඕක ඉර කිව්වොත් එදා ඉදල අපිට රෑට පායන්නේ ඉර.. එතකොට සනත්... මම එයාගේ ඇත්ත නම දන්නේ නෑ...එයා සනත් ජයසූරියව කොච්චර ඇදහුවද කියනවනම් මිනිහ දවසක් කොන්ඩේ සනත්ගේ වගේ කපල, වැවෙනවට මොකක්ද තෙලකුත් ගාගෙන ආව. හැමදාම cricket ගහද්දි සනත් කීපර්. මිනිහට පොඩි ගොතයක් තිබ්බ... ඉතින් සෙල්ලම පටන් ගනිද්දිම සනත් කෑගහනවා මම පීකර්...!! මම පීකර් ...!!! කියල... එතකොට රෝහිත... අඩපු ගමන්මයි...  ඉතින් අපි එයාට කිව්වේ රෝහිනි කියල... එක කියපු ගමන් මිනිහ අඩාගෙන ගෙදර දුවනවා...ඊට පස්සේ සුදු අයිය, මගේ පුංචිගේ පුතා .. එය අවේ ඉදල හිටලා...

ඉතින් ඔය තමයි මගේ ඉස්සර යාලුවෝ සෙට් එක... දැන් කළු අයිය කොරියාවේ ගිහින්, සනතුයි රෝහිතයි හමුදාවේ...සුදු අයියනම් බැදලා පුංචි දුවෙකුත් ඉන්නවා... දැන් ඉදල හිටලා ගමේ ගියාම එයාලව හම්බ වුනොත් කට කොනින් හිනා වෙනවට වඩා දෙයක් නොකරත්, ඒ යාළුකම තාමත් මගේ හිතේ තියනවා... මොකද ඒ අය තමයි මගේ පොඩි කාලේ එච්චරම තක්කඩි සුන්දර ළමාවියක් කරන්න මාත් එක්කම හිටියේ....

ඉතින් දැනට මේ ඇති මම  හිතන්නේ... ලියාගෙන ලියාගෙන යද්දී ගොඩක් දේවල් එනවා ලියන්න... එත් දැන් ඇති... ඉතිරි ටික වෙන දවසකට අපි ඉතුරු කරමු....

මේක හැදුවේ අද... යාළුවෙකුගෙන් බ්ලොග් එකක් හද ගන්න ලින්ක් එකකුත් ඉල්ලගෙන විරය වගේ හැදුවට මොකද, දැන් මට හිත ගන්ඩ බෑ මේකේ මොනවා පොස්ට් කරන්නද කියල... අපි බලමු...සමහර විට හෙට වෙද්දී මට තේරෙයි මේකෙන් මොනවද මට  කරන්න පුළුවන්  කියල...