Sunday, December 11, 2011

මම...

බ්ලොග් එක හදපු වෙලේ ඉදන් මම කල්පනා කරා මොනවද ලියන්නේ කියල ..පස්සේ මම හිතුව මුල ඉදන් පටන් ගන්නවා කියල. ඒ කියන්නේ මම නිර්නාමික මම මගෙන් පටන් ගන්නවා කියල හිතුව.

මම.... කව්ද මම... එක මම තවම හරියට දන්නේ නෑ... එක නිසා මම මගේ ගැන මතුපිටින් කියන්නම්...

මම ඉපදුනේ දඹුල්ලේ පුංචි ගමක... 1989 කලබල අස්සේ ....මම ඉපදිලා පැය තුනකින් අම්මගේ ටිකට් කපල ගෙදර එව්වලු... මරල දාපු තරුණ කොල්ලන්ගෙන් පාර දිගට හදපු පෙති පහේ ටයර් මල් බල බල අපේ අම්මයි තාත්තයි මාව ගෙදර ගේනාවලු... ගෙදර අපු ගමන් අපේ අයිය, හොදට මගේ දිහා බලාගෙන ඉදල එක පාරටම මට දිඩින් ගාල  ගැහුවලු... ඒ මම එයා අම්මා ඉස්පිරිතාලේ ඉදන් ගේනකම් බලන් හිටපු මල්ලියා නොවී නංගියෙක් වුන නිසාලු...  අයියගෙයි මගෙයි පලවෙනි හමුවීම එහෙම උනත් ඉස්සරහට යද්දී එයා මගේ ජීවිතේ ලොකු කොටසක් උනා... මගේ අයිය... එයා තමයි  ඒ කාලේ මගේ ජීවිතේ හිටපු ලොකුම දුෂ්ටයා.. ඒ වගේම මගේ හොදම යාළුවා...  හොර වැඩ කරන්ඩ ගියාම විශ්වාසවන්තම සහයකයා..... තාමත් ඒක එහෙමමයි... එත් තවදුරටත් එයා දුෂ්ටයෙක් නම් නෙමෙයි...

මට අක්ක කෙනෙකුත් ඉන්නවා ... එයා මට වඩා අවුරුදු හතක්ම වැඩිමල් නිසා, පොඩි කලේ මම එයත් එක්ක වැඩි ආශ්‍රයකට  ගියේ නැ... එත්  මට මතකයි  එයා මටයි අයියටයි අරලිය ගහ යට තිබුන අපේ සෙල්ලම් ගෙදර ඇතුලේ උයපු ඇත්තම කිරිබත් කන්න දුන්න කියල ... කාල ඉවර උනා ගමන් අස් කරන්න වෙනවට, මම සෙල්ලමේ නැ කියල අයිය ගියපු හැටිත් මට මතකයි....  

අම්මටයි තාත්තටයි අක්කටයි අයියටයි අමතරව මට ඉන්නවා පුංචි කෙනෙකුත්... හැබැයි මේ වෙනකොට එයා මගේ ජීවිතේට බරපතල විදිහට ඇවිත් නැ... එයා එන්නේ මම ඉස්කෝලේ යන්න පටන් ගනිද්දී...එතකන් අපි එයා ගැන කතා නොකරමු.... මි‍ට අමතරව අපේ ගෙදර අය ගැන කියනවනම්, මේ අවුරුදු 22ට අපේ ගෙදර බල්ලෝ බළල්ලු සැහෙන්න ගොඩකට  ගෙදර වෙලා තියනවා....

මගේ පොඩි කලේ.... එක ගැනනම් ලියන්න දේවල් ගොඩයි... පොඩි කලේ මට හිටිය යාලුවෝ වුනේ අයියගේ යාලුවොමයි..... අපේ සෙට් එක මට තාම මතකයි... කළු අයිය... සෙට් එකේ ලොක්ක.. එයා දෙයක් කිව්වොත් අපිට එච්චරයි.... කළු අයිය හද පෙන්නලා ඕක ඉර කිව්වොත් එදා ඉදල අපිට රෑට පායන්නේ ඉර.. එතකොට සනත්... මම එයාගේ ඇත්ත නම දන්නේ නෑ...එයා සනත් ජයසූරියව කොච්චර ඇදහුවද කියනවනම් මිනිහ දවසක් කොන්ඩේ සනත්ගේ වගේ කපල, වැවෙනවට මොකක්ද තෙලකුත් ගාගෙන ආව. හැමදාම cricket ගහද්දි සනත් කීපර්. මිනිහට පොඩි ගොතයක් තිබ්බ... ඉතින් සෙල්ලම පටන් ගනිද්දිම සනත් කෑගහනවා මම පීකර්...!! මම පීකර් ...!!! කියල... එතකොට රෝහිත... අඩපු ගමන්මයි...  ඉතින් අපි එයාට කිව්වේ රෝහිනි කියල... එක කියපු ගමන් මිනිහ අඩාගෙන ගෙදර දුවනවා...ඊට පස්සේ සුදු අයිය, මගේ පුංචිගේ පුතා .. එය අවේ ඉදල හිටලා...

ඉතින් ඔය තමයි මගේ ඉස්සර යාලුවෝ සෙට් එක... දැන් කළු අයිය කොරියාවේ ගිහින්, සනතුයි රෝහිතයි හමුදාවේ...සුදු අයියනම් බැදලා පුංචි දුවෙකුත් ඉන්නවා... දැන් ඉදල හිටලා ගමේ ගියාම එයාලව හම්බ වුනොත් කට කොනින් හිනා වෙනවට වඩා දෙයක් නොකරත්, ඒ යාළුකම තාමත් මගේ හිතේ තියනවා... මොකද ඒ අය තමයි මගේ පොඩි කාලේ එච්චරම තක්කඩි සුන්දර ළමාවියක් කරන්න මාත් එක්කම හිටියේ....

ඉතින් දැනට මේ ඇති මම  හිතන්නේ... ලියාගෙන ලියාගෙන යද්දී ගොඩක් දේවල් එනවා ලියන්න... එත් දැන් ඇති... ඉතිරි ටික වෙන දවසකට අපි ඉතුරු කරමු....

No comments:

Post a Comment