Thursday, August 8, 2013

සුරංගනා කතාවක්.

ඔන්න එකෝමත් එක කාලෙක,  ඈත දුර එපිට රාජ්‍යක, අහස උඩින් වැටිලා තිබුන සුරංගනා ලෝකයට යන පාරක්.

මේ සුරංගනා ලෝකේ හිටිය, සෙරපිනා කියල පුංචි සුරංගනාවියක්. එයා තමයි සුරංගනා ලෝකේ සතුටෙන්ම හිටපු සුරංගනාව. ඉතින් සෙරපිනාට පැවරුන රාජකාරිය තමා, සතුට බෙදන එක. සෙරපිනාගේ ඇස් දෙක ලොකුයි. එයා  හිනා වෙනකොට ඒවත් හිනා වේවි දිලිසෙන්න පටන් ගන්නවා. ඒ හිනාවට තමා මනුස්ස ලෝකේ මල් පිපුනේ. ඉතින් සෙරපිනා හැමදාම උදේට මනුස්ස ලෝකෙට ගිහින්, මල් දිහා බලල හීනා වෙනවා. එතකොට මල් පොහොට්ටු ඔක්කොම ලස්සනට පිපෙනවා. මේක නිසා, සමනල්ලු, මී මැස්සෝ, කුරුල්ලෝ විතරක් නෙමෙයි කැලේ හිටපු හැම සතෙක්ම සෙරපිනා එක්ක හරි යාලුයි.

ඒත් මේ හැම දේටම වඩා සෙරපිනගේ තිබ්බ විශේෂත්වේ තමා,වෙන සුරංගනාවන්ට වගේ නෙමෙයි, සෙරපිනාට අත්තටු හයක් තිබ්බා. ඒ නිසා එයාට හරි ඉක්මනට පියාඹන්න පුළුවන් කම ලැබුන. හැබැයි එයාගේ අත්තටු වලට ශක්තිය ලැබුනේ, සේරපින සතුටෙන් ඉන්න කොට විතරයි . ඒත් සෙරපිනාට  ඒක කවදාවත් ප්‍රශ්නයක් උනේ නෑ. මොකද සෙරපිනා හැමදාම හිටියේ සතුටෙන් නිසා... සතුටෙන් ඉන්න කොට සෙරපිනාට හොද වේගෙන් පියාඹන්න පුළුවන් උනා. මේ නිසා මනුස්ස ලෝකෙට යන්න අවසර ලැබුනේ සෙරපිනාට විතරයි. මොකද මනුස්ස ඇහැට නොපෙනී ඉක්මනටම ආපහු සුරංගනා ලෝකෙට පියාඹන්න පුළුවන්කම තිබ්බේ එයාට විතරයි.

ඔන්‍න‍ එක දවසක් සෙරපිනා වෙනද වගේම මල් එක්ක හිනා වේවි පියාඹගෙන යද්දී, එයා දැක්ක ලස්සන මල් උයනක්‌ . එකේ ලස්සන ලස්සන මල් තිබුන. සේරපිනා කවදාවත් දැකල නොතිබුන ලස්සන ලස්සන මල්...
ඉතින් සෙරපිනාට හරිම කුතුහලයක් ඇතිවුනා.. ඒ වගේම ආස හිතුන ලගට ගිහින් ඒ මල් බලන්න. ඉතින් එයා බයෙන් බයෙන් වුනත් මල් උයනට  ඇතුල් උනා. මල් උයනේ තිබුන ලස්සන ලස්සන මල් දැකල සේරපිනාට හරි සතුටු හිතුනා.. සතුට වැඩි කමට සේරපිනාට අමතක වෙලා ගියා, තමන් මල් උයනට ආවේ අවසර නැතුව කියල.

ඔහොම ටික වෙලාවක් ඇවිද ඇවිද ඉන්නකොට සේරපිනාට ඇහුන කෙනෙකුගේ ඉකිබිදීමක්... සේරපිනා ඒ ඉකිබිදීම ඇහුන  දිහාවට පියඹලා ගියා. එතකොට එය දැක්ක, ගහක් යටට වෙලා අඩ අඩා ඉන්න පුංචි පිරිමි ළමයෙක්...

මනුස්සයෝ එක්ක කතා කරන්න තහනම් උනත් සේරපිනාට පිරිමි ළමයා ගැන දුක හිතුන.

ඇයි ඔයා අඩන්නේ ..? සේරපිනා පිරිමි ළමයාගෙන් ඇහුව. පිරිමි ළමයා ඔලුව උස්සල සේරපිනා දිහා බැලුව.
ඔයා කව්ද..? පිරිමි ළමයා සේරපිනාගෙන් ඇහුව.

මගේ නම සේරපිනා. මම තම සතුට බෙදන සුරංගනාව. ඔය මට කිව්වොත් ඇයි ඔය අඩන්නේ කියල, මට පුළුවන් ඔයාගේ හිතෙන් දුක අයින් කරලා සතුට බෙදන්න. සේරපිනා කිව්වා.

මම තමයි මේ රටේ කුමාරයා. මේ මගේ මල් උයන. ඒත් මට හරි පාලුයි. මට සෙල්ලම් කරන්න යාලුවෙක් නෑ. කුමාරයා කිව්වා.

සේරපිනාට හිත ගන්න බැරි උනා මොකද කරන්නේ කියල.

 මේ උයන අයිති මට  නිසා, අවසර නැතුව ආපු ඔයත් අයිති මටයි. අද ඉදන් ඔයා මගේ සුරංගනාවී ... කුමරයා කිව්වා.

මාව කාටවත් අයිති නෑ... සේරපිනාට එහෙම කියන්න හිතුනත්, කුමාරයට දුක හිතෙයි කියල බය හිතුන නිසා කිව්වේ නෑ...

ඉතින් සේරපිනා ඊට පස්සේ හැමදාම කුමාරයා බලන්න මල් උයනට ගිය. ටිකෙන් ටික කුමාරයි සේරපිනයි හොද යාලුවෝ උනා.

කුමාරය හැමදාමත්  කිව්වා. ඔයා මගේ සුරංගනාවී... ඔයා මගේ සුරංගනාවී.... ටික කාලයක් යනකොට සේරපිනාට ඒක අහද්දී හරිම සතුටක් දැනෙන්න ගත්ත... එයා ඊට පස්සේ හැමදාම බලාන හිටියෙ කුමාරය ඒක කියනකම්...

ඔයාගේ හිනාව හරිම ලස්සනයි... හැමදාම හිනා වෙලා ඉන්න... කුමාරය කිව්වා. එතකොට සේරපිනා ලොකු ඇස්  තවත් ලොකු කරලා ලස්සනට හිනා උනා.. ඒත් කුමාරය නිසා සේරපිනාට මල් එක්ක හිනා වෙන එක නතර කළා. සේරපිනා හිතුව කුමාරය වෙනුවෙන් විතරක්ම හිනා වෙනවා කියල. මොකද මල් කවදාවත් සේරපිනාට කියල තිබුනේ නෑ එයාගේ හිනාව කොච්චර ලස්සනද කියල.
කාලය ගෙවිල ගියා.. බොහොම ලොකු කාලයක් ගෙවිල ගියා...

*********************************

මට දුර ගමනක් යන්න වෙනවා. මට ඔයාව දකින්න වෙන්නේ නෑ ටික දවසකට. දවසක් කුමාරය සේරපිනාට කිව්වා.  සේරපිනාට දුක හිතුන. ඒත් එයා හිනා වෙලා කිව්වා.

පරෙස්සමට ගිහින් එන්න.

ඊට පස්සේ  සති ගානක් කුමාරය මල් උයනට ආවේ නැ. ඒත් සේරපිනා පුරුද්දට වගේ හැමදාමත් මල් උයනට ආව. එයට හිතුනෙම කුමාරය ඇවිත් ඉදීවි කියල. ඒත් නෑ. සේරපිනා කුමාරය එනකන් ගොඩක් කල් බලන් හිටිය.

ඔන්න එක නොහිතපු දවසක කුමාරය මල් උයනට ඇවිත් හිටිය. සේරපිනාට හරිම සතුටුයි. කුමාරයාගේ මූණත් සතුටෙන් පිරිලා.

සේරපිනා... මට ඔය නැති පාලුව ගොඩක් දැනුනා. ඒත් දන්නවද මම ගිය එහා දේශයෙන් මට විශේෂ කෙනෙක් මුණ ගැහුනා. එයාකුමාරියක්..... එයා හරිම ලස්සනයි, දක්ෂයි... හරියට සුරංගනාවියක් වගේ...  එයා මට එයාගේ රට පෙන්නුවා. එක හරිම ලස්සනයි. අපි දෙන්න ගොඩක් විනෝද උනා. එක හරියට සුරංගනා කතාවක් වගේ. එයත් හරියට ලස්සන සුරංගනාවියක් වගේ...” කුමාරයා සතුටෙන් කියාගෙන කියාගෙන ගියා. සෙරපිනාට දුක හිතුන.

එතකොට මම නෙමේද ඔයාගේ සුරංගනාවී..???සෙරපිනාට අහන්න හිතුන... ඒත් කුමාරයට දුක හිතෙයි කියල බය හිතුන නිසා ඇහුවේ නෑ...

හරිම ශෝක්‌ ... සේරපිනා හිනා වෙලා කිව්වා. ඒත් වෙනද වගේ එයාගේ ඇස්  දිලිසුනේ නෑ... හිතේ තිබ්බ සතුට වැඩිකමට කුමාරය ඒ බවක් දැක්කේ නෑ... පලවෙනි පාරට සේරපිනාගේ ඇස් වලින් කදුළු ආවා. ඒත් හිතේ තිබ්බ සතුට වැඩිකමට කුමාරය ඒ බවක් දැක්කේ නෑ...

එයා කිව්වා මාව බලන්න ලගදීම මගේ රටට එනවා කියල. සේරපිනා... ඔය තමා මගේ හොදම යාළුවා. මගේ වත්තේ තියන ලස්සනම මල් ටික එයා  වෙනුවෙන් පිපෙන්න ඕන. ඔයා මට උදව් කරනවා නේද..?” කුමාරය සේරපිනාගෙන් ඇහුව.

ඔව් මම කරන්නම්. ඔයත් මගේ හොදම යාළුවා... සේරපිනා කිව්වා.

*********************************

ඔන්න ඉතින් ඈත එපිට රාජ්‍යයෙන් කුමරිය එන දවස අවා. කුමාරය හරි සතුටෙන්.

සේරපිනා, ඔය මම වෙනුවෙන් මල් පුපුදුවනවා නේද?කුමාරය ඇහුව.

සේරපිනා හිනාවෙලා  කැමති උනා. ඔන්න ඉතින් එදා කුමාරය කුමාරිව මල් වත්තට එක්කන් ආව. සේරපිනා මල් එක්ක හිනා උනා.. ඒත් එයාගේ ඇස හිනා වුනේ නෑ . ඉතින් වෙනද වගේ මල් පිපුනේ නෑ.

කෝ මල් පිපෙන්නේ නැද්ද? කුමාරි කුතුහලෙන් ඇහුව.

සේරපිනා ආයමත් උත්සහ කලා. ඒත් මල් පිපුනේ නෑ.

ඔයා කිව්වට මම නම් විස්වාස කරන නෑ මෙයා සුරංගනාවියක් කියල. ඇයි  තාමත් මල් පිපුනේ නැත්තේ?” කුමරිය බලාපොරොත්තු කඩවුන දුකට, තරහෙන් ඇහුව. කුමාරයට දුක හිතුන. ඊටත් වැඩ ලජ්ජා හිතුන.

ඇයි  සේරපින ඔයා  එහෙම කලේ?  කුමාරිය හිතයි  මම බොරු කාරයෙක් කියල. ඔය කිසි වැඩකට නැති සුරංගනාවියක්.  කුමාරය තරහින් කිව්වා.

සේරපිනාට දුක හිතුන. ගොඩාක් දුක හිතුන. දෙවැනි පාරටත් සේරපිනගේ ඇස් වලින් කදුළු ආව. ඒත් හිතේ තිබ්බ තරහ වැඩිකමට කුමාරය ඒ බවක් දැක්කේ නෑ...

මට සමාවෙන්න. මම හිතල කලේ නැහැ. මම උත්සහ කලා  හිනා වෙන්න. හදවතින්න හිනා  වෙන්න. ඒත් තවදුරටත් මගේ හිනාව ඇත්ත නෙමෙයි. “ සේරපිනා කුමාරයට කිව්වා.

මම ඔයාගේ මල් වත්තෙන් යන්නම්. ආයමත් මට හිනා වෙන්න පුළුවන් වූන දවසට මම ඇවිත් මල් පුපුදුවන්නම්. සේරපිනා  අයෙමත් කුමාරයට කිව්වා.එතකොට කුමාරයට දුක හිතුනා.

සේරපිනා යන්න එපා.... ඔයා නැතුව මට පාලු හිතෙයි... කුමාරය දුකෙන් කිව්වා. සේරපිනාට දුක හිතුනා. තුන්වෙනි  පාරටත් සේරපිනාගෙ ඇස් වලින් කදුළු ආව.

ඇස් වල කදුළු පුරවගෙනම සේරපිනා කුමාරයාගෙන් ඈතට ඈතට පියාඹල ගියා... ඒත් කදුළු වලට ඇස් බොදවෙලා නිසා සේරපිනාට ආයමත් සුරංගනා ලෝකෙට යන පාර හොයා ගන්න බැරි උනා. ඒ මදිවට කැඩුණු අත්තටු දෙකත්, සේරපිනාගේ හිතේ දුකත් නිසා, වේගයත් හොදටම අඩු උනා.සේරපිනා මනුස්ස ලෝකේ අතරමං උනා. කුමාරයා මල් උයනට වෙලා දුකෙන් බලාගෙන හිටිය මුළු දවසක්ම. මේක දැකපු කුමාරිය, කුමාරයා ලගට ඇවිත්, ඔහුව සැනසුවා.

දුක් වෙන්න එපා. අද ඉදන් මම ඔයාගේ සුරංගනාවී වෙන්නම්...” ඇය හිනාවෙලා කිව්වා. ඇගේ හිනාවත් සේරපිනගේ හිනාව තරම්ම ලස්සන බව කුමාරයාට හිතුන. කුමාරයට සතුටු හිතුනා.

ඊට පස්සේ කුමාරයා කුමරිත් එක්ක සතුටින් ජිවත් උනා. ටික කාලයක් යනකොට කුමාරයට මල් උයන අමතක උනා. මොකද එයා කුමාරිත් එක්ක රට රටවල ඇවිදින්න ගියා. ලස්සන කදු මුදුන්, තැනිතලා, දිය ඇලි ගංගා ලග ඒ දෙන්න සතුටින් විනෝද උනා. කුමාරයට සේරපිනාව අමතක වෙලා ගියා. ඉදල හිටලා සේරපිනාව මතක උනත් , කුමාරයට ආය කවදාවත්  සේරපිනා නැති පාළුව දැනුනේ නෑ...

 ඒ අතරේ මනුස්ස ලෝකේ අතරමං උන සේරපිනා, සුරංගනා ලෝක හොයාගෙන එහේ මෙහේ පියඹුවා. කදු මුදුන්, තැනිතලා, දිය ඇලි  ගංගා හැමෝම සේරපිනාව ආදරෙන් පිළිගත්තා... ඔයා හරි අපුරු  සුරංගනාවියක්... ඔවුන් ඇයට ප්‍රශංසා කළා. අපිත් එක්ක ඉන්න ... ඔවුන් ඇයට අරාධනා කළා...

මාව කාටවත් අයිති වෙන්නේ බෑ ... මොකද මාව හැමෝටම අයිතියි... සේරපිනා හිනා වෙලා කිව්වා.
එතකොට සේරපිනාගේ ඇස් අයෙමත්   දිලිසෙන්න පටන් ගත්ත... සේරපිනා ඒ හැමෝගෙන්ම සමු අරන් සතුටෙන් පියඹල යන්න ගියා...

ඊට පස්සේ එයා හැමදාමත් වෙනද වගේම මල් එක්ක හිනා වුනා. සත්තු එක්ක සෙල්ලම් කර කර මනුස්ස ලෝකෙට වෙලා සතුටින් හිටිය. ඒත් එයා ආය කවදාවත් කුමාරයාගේ මල් උයනට ගියේ නෑ. කුමාරයා වගේම සේරපිනාටත් මල් උයන අමතක වෙලා ගියා.

ඉතින් ඊට පස්සේ කුමාරයයි කුමාරියි විතරක් නෙමෙයි, සේරපිනත් සදාතනික සතුටෙන් ගොඩක් කාලයක් ජීවත් උනා.

නිමී.

සැප්තැම්බර් 15, 201

වැස්ස

දැන් වහිනවා... මේක සාමාන්‍ය වැස්සක්. මම හැම වර්ගයේම වැහි වලට ආසයි. ඒක පොද වැස්සක් වුනත්, කදු නාය යන මොර සුරන වැස්සක් උනත්, මම ඒ දෙකටම ආසයි. එකෙන් මට වෙන්නේ හොදක්ද, නරකක්ද කියන දේ පවා නොතකා මම වැස්සට ආසයි...
මාර්තු 03, 2008

දැන් වහිනවා... මේක ටිකක් තද වැස්සක්. මම වැස්සට ආසයි. වැස්සේ සද්දෙට ආසයි. වැස්සේ සුවදට ආසයි. වැහි බින්දු මගේ ඇගට වැටෙනවට ආසයි.මට එතකොට දැනෙන්නේ හරියට, වැස්ස ලෝකේ පුරා ඇවිදලා ඇවිදලා එකතු කරගෙන ආපු සතුට, මගේ ඇග උඩට අංශු අංශු වෙලා වැටෙනවා කියල..මම වැස්ස එක්ක බදුන හැම දේටම ආසයි. වැස්ස එක්ක එහෙට මෙහෙට රවුම් ගහන හුළගට, වැහි බින්දු ලක්ෂ ගානක් කොළ අස්සේ හංගගෙන ඉන්න ගස් වලට, පීටාර ගලන පොකුණට,මිදුලේ හැදෙන මඩ වලවල් වලට,වැහි වතුර වැටුන මකුළු දැල් වලට... ඒ හැමදේටම මම ආසයි. ඇත්තම කියනවනම් මම ආදරෙයි...
මැයි 09, 2008

වහිනවා... මහා හයියෙන්... මිදුලේ මඩ වලවල් හැදිලා... වතුර පීල්ල දුම්හිද වෙලා... මම, තාමත් බෝට්ටු හදනවා.... හැබැයි කඩදාසි....මිදුල හම්බන්තොට වරාය වෙලා.. එත්, අයිස් කන්දක් නැතුවම මගේ Titanic ගිලෙනවා...වැස්සට තෙමිලම...!!!
පෙබරවාරි 28, 2012


මම 
වර්ෂාවට ප්‍රේම කලෙමි,
සිසිල සාදලන
ගිතයක් වූ,
වර්ෂාවට මම ප්‍රේම කලෙමි...

ඔබ හා ඇය ,
එහි තෙමුන බව
දැනගත් දා තෙක් 
මම වර්ෂාවට ප්‍රේම කලෙමි...

ඉන් පසුව
එය මට
ශෝකයේ මුසල
මොරගෑමක් පමණක්ම විය... 
කන් පුපුරවන,
කදුළු පුරවන
මොර ගෑමක් පමණක්ම විය...

අගෝස්තු 25, 2012


වැස්ස... හරි පුදුම දෙයක්... මැරුණු ජීවිත වලට සතුට, ජීවය දෙන, කදුළු පොකුරක්... දැන් හොදටම වහිනවා.. මම ඉන්නේ වස්ගමුව වන රක්ෂිතයේ මායිමේ සංචාරක බංගලාවක. හැම තැනම කොළ පාටයි.
මාස ගානක් අව්වට පිච්චි පිච්චි මරුන ගස්, එක පාරට පන ගහල.

ඇත්ත, වැස්සට පුළුවන් හැම දේටම පන දෙන්න. මරුන හැම දේටම පන දෙන්න. මරුන හිතකට උනත්...

 දෙසැම්බර්  22, 2012