Thursday, August 8, 2013

සුරංගනා කතාවක්.

ඔන්න එකෝමත් එක කාලෙක,  ඈත දුර එපිට රාජ්‍යක, අහස උඩින් වැටිලා තිබුන සුරංගනා ලෝකයට යන පාරක්.

මේ සුරංගනා ලෝකේ හිටිය, සෙරපිනා කියල පුංචි සුරංගනාවියක්. එයා තමයි සුරංගනා ලෝකේ සතුටෙන්ම හිටපු සුරංගනාව. ඉතින් සෙරපිනාට පැවරුන රාජකාරිය තමා, සතුට බෙදන එක. සෙරපිනාගේ ඇස් දෙක ලොකුයි. එයා  හිනා වෙනකොට ඒවත් හිනා වේවි දිලිසෙන්න පටන් ගන්නවා. ඒ හිනාවට තමා මනුස්ස ලෝකේ මල් පිපුනේ. ඉතින් සෙරපිනා හැමදාම උදේට මනුස්ස ලෝකෙට ගිහින්, මල් දිහා බලල හීනා වෙනවා. එතකොට මල් පොහොට්ටු ඔක්කොම ලස්සනට පිපෙනවා. මේක නිසා, සමනල්ලු, මී මැස්සෝ, කුරුල්ලෝ විතරක් නෙමෙයි කැලේ හිටපු හැම සතෙක්ම සෙරපිනා එක්ක හරි යාලුයි.

ඒත් මේ හැම දේටම වඩා සෙරපිනගේ තිබ්බ විශේෂත්වේ තමා,වෙන සුරංගනාවන්ට වගේ නෙමෙයි, සෙරපිනාට අත්තටු හයක් තිබ්බා. ඒ නිසා එයාට හරි ඉක්මනට පියාඹන්න පුළුවන් කම ලැබුන. හැබැයි එයාගේ අත්තටු වලට ශක්තිය ලැබුනේ, සේරපින සතුටෙන් ඉන්න කොට විතරයි . ඒත් සෙරපිනාට  ඒක කවදාවත් ප්‍රශ්නයක් උනේ නෑ. මොකද සෙරපිනා හැමදාම හිටියේ සතුටෙන් නිසා... සතුටෙන් ඉන්න කොට සෙරපිනාට හොද වේගෙන් පියාඹන්න පුළුවන් උනා. මේ නිසා මනුස්ස ලෝකෙට යන්න අවසර ලැබුනේ සෙරපිනාට විතරයි. මොකද මනුස්ස ඇහැට නොපෙනී ඉක්මනටම ආපහු සුරංගනා ලෝකෙට පියාඹන්න පුළුවන්කම තිබ්බේ එයාට විතරයි.

ඔන්‍න‍ එක දවසක් සෙරපිනා වෙනද වගේම මල් එක්ක හිනා වේවි පියාඹගෙන යද්දී, එයා දැක්ක ලස්සන මල් උයනක්‌ . එකේ ලස්සන ලස්සන මල් තිබුන. සේරපිනා කවදාවත් දැකල නොතිබුන ලස්සන ලස්සන මල්...
ඉතින් සෙරපිනාට හරිම කුතුහලයක් ඇතිවුනා.. ඒ වගේම ආස හිතුන ලගට ගිහින් ඒ මල් බලන්න. ඉතින් එයා බයෙන් බයෙන් වුනත් මල් උයනට  ඇතුල් උනා. මල් උයනේ තිබුන ලස්සන ලස්සන මල් දැකල සේරපිනාට හරි සතුටු හිතුනා.. සතුට වැඩි කමට සේරපිනාට අමතක වෙලා ගියා, තමන් මල් උයනට ආවේ අවසර නැතුව කියල.

ඔහොම ටික වෙලාවක් ඇවිද ඇවිද ඉන්නකොට සේරපිනාට ඇහුන කෙනෙකුගේ ඉකිබිදීමක්... සේරපිනා ඒ ඉකිබිදීම ඇහුන  දිහාවට පියඹලා ගියා. එතකොට එය දැක්ක, ගහක් යටට වෙලා අඩ අඩා ඉන්න පුංචි පිරිමි ළමයෙක්...

මනුස්සයෝ එක්ක කතා කරන්න තහනම් උනත් සේරපිනාට පිරිමි ළමයා ගැන දුක හිතුන.

ඇයි ඔයා අඩන්නේ ..? සේරපිනා පිරිමි ළමයාගෙන් ඇහුව. පිරිමි ළමයා ඔලුව උස්සල සේරපිනා දිහා බැලුව.
ඔයා කව්ද..? පිරිමි ළමයා සේරපිනාගෙන් ඇහුව.

මගේ නම සේරපිනා. මම තම සතුට බෙදන සුරංගනාව. ඔය මට කිව්වොත් ඇයි ඔය අඩන්නේ කියල, මට පුළුවන් ඔයාගේ හිතෙන් දුක අයින් කරලා සතුට බෙදන්න. සේරපිනා කිව්වා.

මම තමයි මේ රටේ කුමාරයා. මේ මගේ මල් උයන. ඒත් මට හරි පාලුයි. මට සෙල්ලම් කරන්න යාලුවෙක් නෑ. කුමාරයා කිව්වා.

සේරපිනාට හිත ගන්න බැරි උනා මොකද කරන්නේ කියල.

 මේ උයන අයිති මට  නිසා, අවසර නැතුව ආපු ඔයත් අයිති මටයි. අද ඉදන් ඔයා මගේ සුරංගනාවී ... කුමරයා කිව්වා.

මාව කාටවත් අයිති නෑ... සේරපිනාට එහෙම කියන්න හිතුනත්, කුමාරයට දුක හිතෙයි කියල බය හිතුන නිසා කිව්වේ නෑ...

ඉතින් සේරපිනා ඊට පස්සේ හැමදාම කුමාරයා බලන්න මල් උයනට ගිය. ටිකෙන් ටික කුමාරයි සේරපිනයි හොද යාලුවෝ උනා.

කුමාරය හැමදාමත්  කිව්වා. ඔයා මගේ සුරංගනාවී... ඔයා මගේ සුරංගනාවී.... ටික කාලයක් යනකොට සේරපිනාට ඒක අහද්දී හරිම සතුටක් දැනෙන්න ගත්ත... එයා ඊට පස්සේ හැමදාම බලාන හිටියෙ කුමාරය ඒක කියනකම්...

ඔයාගේ හිනාව හරිම ලස්සනයි... හැමදාම හිනා වෙලා ඉන්න... කුමාරය කිව්වා. එතකොට සේරපිනා ලොකු ඇස්  තවත් ලොකු කරලා ලස්සනට හිනා උනා.. ඒත් කුමාරය නිසා සේරපිනාට මල් එක්ක හිනා වෙන එක නතර කළා. සේරපිනා හිතුව කුමාරය වෙනුවෙන් විතරක්ම හිනා වෙනවා කියල. මොකද මල් කවදාවත් සේරපිනාට කියල තිබුනේ නෑ එයාගේ හිනාව කොච්චර ලස්සනද කියල.
කාලය ගෙවිල ගියා.. බොහොම ලොකු කාලයක් ගෙවිල ගියා...

*********************************

මට දුර ගමනක් යන්න වෙනවා. මට ඔයාව දකින්න වෙන්නේ නෑ ටික දවසකට. දවසක් කුමාරය සේරපිනාට කිව්වා.  සේරපිනාට දුක හිතුන. ඒත් එයා හිනා වෙලා කිව්වා.

පරෙස්සමට ගිහින් එන්න.

ඊට පස්සේ  සති ගානක් කුමාරය මල් උයනට ආවේ නැ. ඒත් සේරපිනා පුරුද්දට වගේ හැමදාමත් මල් උයනට ආව. එයට හිතුනෙම කුමාරය ඇවිත් ඉදීවි කියල. ඒත් නෑ. සේරපිනා කුමාරය එනකන් ගොඩක් කල් බලන් හිටිය.

ඔන්න එක නොහිතපු දවසක කුමාරය මල් උයනට ඇවිත් හිටිය. සේරපිනාට හරිම සතුටුයි. කුමාරයාගේ මූණත් සතුටෙන් පිරිලා.

සේරපිනා... මට ඔය නැති පාලුව ගොඩක් දැනුනා. ඒත් දන්නවද මම ගිය එහා දේශයෙන් මට විශේෂ කෙනෙක් මුණ ගැහුනා. එයාකුමාරියක්..... එයා හරිම ලස්සනයි, දක්ෂයි... හරියට සුරංගනාවියක් වගේ...  එයා මට එයාගේ රට පෙන්නුවා. එක හරිම ලස්සනයි. අපි දෙන්න ගොඩක් විනෝද උනා. එක හරියට සුරංගනා කතාවක් වගේ. එයත් හරියට ලස්සන සුරංගනාවියක් වගේ...” කුමාරයා සතුටෙන් කියාගෙන කියාගෙන ගියා. සෙරපිනාට දුක හිතුන.

එතකොට මම නෙමේද ඔයාගේ සුරංගනාවී..???සෙරපිනාට අහන්න හිතුන... ඒත් කුමාරයට දුක හිතෙයි කියල බය හිතුන නිසා ඇහුවේ නෑ...

හරිම ශෝක්‌ ... සේරපිනා හිනා වෙලා කිව්වා. ඒත් වෙනද වගේ එයාගේ ඇස්  දිලිසුනේ නෑ... හිතේ තිබ්බ සතුට වැඩිකමට කුමාරය ඒ බවක් දැක්කේ නෑ... පලවෙනි පාරට සේරපිනාගේ ඇස් වලින් කදුළු ආවා. ඒත් හිතේ තිබ්බ සතුට වැඩිකමට කුමාරය ඒ බවක් දැක්කේ නෑ...

එයා කිව්වා මාව බලන්න ලගදීම මගේ රටට එනවා කියල. සේරපිනා... ඔය තමා මගේ හොදම යාළුවා. මගේ වත්තේ තියන ලස්සනම මල් ටික එයා  වෙනුවෙන් පිපෙන්න ඕන. ඔයා මට උදව් කරනවා නේද..?” කුමාරය සේරපිනාගෙන් ඇහුව.

ඔව් මම කරන්නම්. ඔයත් මගේ හොදම යාළුවා... සේරපිනා කිව්වා.

*********************************

ඔන්න ඉතින් ඈත එපිට රාජ්‍යයෙන් කුමරිය එන දවස අවා. කුමාරය හරි සතුටෙන්.

සේරපිනා, ඔය මම වෙනුවෙන් මල් පුපුදුවනවා නේද?කුමාරය ඇහුව.

සේරපිනා හිනාවෙලා  කැමති උනා. ඔන්න ඉතින් එදා කුමාරය කුමාරිව මල් වත්තට එක්කන් ආව. සේරපිනා මල් එක්ක හිනා උනා.. ඒත් එයාගේ ඇස හිනා වුනේ නෑ . ඉතින් වෙනද වගේ මල් පිපුනේ නෑ.

කෝ මල් පිපෙන්නේ නැද්ද? කුමාරි කුතුහලෙන් ඇහුව.

සේරපිනා ආයමත් උත්සහ කලා. ඒත් මල් පිපුනේ නෑ.

ඔයා කිව්වට මම නම් විස්වාස කරන නෑ මෙයා සුරංගනාවියක් කියල. ඇයි  තාමත් මල් පිපුනේ නැත්තේ?” කුමරිය බලාපොරොත්තු කඩවුන දුකට, තරහෙන් ඇහුව. කුමාරයට දුක හිතුන. ඊටත් වැඩ ලජ්ජා හිතුන.

ඇයි  සේරපින ඔයා  එහෙම කලේ?  කුමාරිය හිතයි  මම බොරු කාරයෙක් කියල. ඔය කිසි වැඩකට නැති සුරංගනාවියක්.  කුමාරය තරහින් කිව්වා.

සේරපිනාට දුක හිතුන. ගොඩාක් දුක හිතුන. දෙවැනි පාරටත් සේරපිනගේ ඇස් වලින් කදුළු ආව. ඒත් හිතේ තිබ්බ තරහ වැඩිකමට කුමාරය ඒ බවක් දැක්කේ නෑ...

මට සමාවෙන්න. මම හිතල කලේ නැහැ. මම උත්සහ කලා  හිනා වෙන්න. හදවතින්න හිනා  වෙන්න. ඒත් තවදුරටත් මගේ හිනාව ඇත්ත නෙමෙයි. “ සේරපිනා කුමාරයට කිව්වා.

මම ඔයාගේ මල් වත්තෙන් යන්නම්. ආයමත් මට හිනා වෙන්න පුළුවන් වූන දවසට මම ඇවිත් මල් පුපුදුවන්නම්. සේරපිනා  අයෙමත් කුමාරයට කිව්වා.එතකොට කුමාරයට දුක හිතුනා.

සේරපිනා යන්න එපා.... ඔයා නැතුව මට පාලු හිතෙයි... කුමාරය දුකෙන් කිව්වා. සේරපිනාට දුක හිතුනා. තුන්වෙනි  පාරටත් සේරපිනාගෙ ඇස් වලින් කදුළු ආව.

ඇස් වල කදුළු පුරවගෙනම සේරපිනා කුමාරයාගෙන් ඈතට ඈතට පියාඹල ගියා... ඒත් කදුළු වලට ඇස් බොදවෙලා නිසා සේරපිනාට ආයමත් සුරංගනා ලෝකෙට යන පාර හොයා ගන්න බැරි උනා. ඒ මදිවට කැඩුණු අත්තටු දෙකත්, සේරපිනාගේ හිතේ දුකත් නිසා, වේගයත් හොදටම අඩු උනා.සේරපිනා මනුස්ස ලෝකේ අතරමං උනා. කුමාරයා මල් උයනට වෙලා දුකෙන් බලාගෙන හිටිය මුළු දවසක්ම. මේක දැකපු කුමාරිය, කුමාරයා ලගට ඇවිත්, ඔහුව සැනසුවා.

දුක් වෙන්න එපා. අද ඉදන් මම ඔයාගේ සුරංගනාවී වෙන්නම්...” ඇය හිනාවෙලා කිව්වා. ඇගේ හිනාවත් සේරපිනගේ හිනාව තරම්ම ලස්සන බව කුමාරයාට හිතුන. කුමාරයට සතුටු හිතුනා.

ඊට පස්සේ කුමාරයා කුමරිත් එක්ක සතුටින් ජිවත් උනා. ටික කාලයක් යනකොට කුමාරයට මල් උයන අමතක උනා. මොකද එයා කුමාරිත් එක්ක රට රටවල ඇවිදින්න ගියා. ලස්සන කදු මුදුන්, තැනිතලා, දිය ඇලි ගංගා ලග ඒ දෙන්න සතුටින් විනෝද උනා. කුමාරයට සේරපිනාව අමතක වෙලා ගියා. ඉදල හිටලා සේරපිනාව මතක උනත් , කුමාරයට ආය කවදාවත්  සේරපිනා නැති පාළුව දැනුනේ නෑ...

 ඒ අතරේ මනුස්ස ලෝකේ අතරමං උන සේරපිනා, සුරංගනා ලෝක හොයාගෙන එහේ මෙහේ පියඹුවා. කදු මුදුන්, තැනිතලා, දිය ඇලි  ගංගා හැමෝම සේරපිනාව ආදරෙන් පිළිගත්තා... ඔයා හරි අපුරු  සුරංගනාවියක්... ඔවුන් ඇයට ප්‍රශංසා කළා. අපිත් එක්ක ඉන්න ... ඔවුන් ඇයට අරාධනා කළා...

මාව කාටවත් අයිති වෙන්නේ බෑ ... මොකද මාව හැමෝටම අයිතියි... සේරපිනා හිනා වෙලා කිව්වා.
එතකොට සේරපිනාගේ ඇස් අයෙමත්   දිලිසෙන්න පටන් ගත්ත... සේරපිනා ඒ හැමෝගෙන්ම සමු අරන් සතුටෙන් පියඹල යන්න ගියා...

ඊට පස්සේ එයා හැමදාමත් වෙනද වගේම මල් එක්ක හිනා වුනා. සත්තු එක්ක සෙල්ලම් කර කර මනුස්ස ලෝකෙට වෙලා සතුටින් හිටිය. ඒත් එයා ආය කවදාවත් කුමාරයාගේ මල් උයනට ගියේ නෑ. කුමාරයා වගේම සේරපිනාටත් මල් උයන අමතක වෙලා ගියා.

ඉතින් ඊට පස්සේ කුමාරයයි කුමාරියි විතරක් නෙමෙයි, සේරපිනත් සදාතනික සතුටෙන් ගොඩක් කාලයක් ජීවත් උනා.

නිමී.

සැප්තැම්බර් 15, 201

වැස්ස

දැන් වහිනවා... මේක සාමාන්‍ය වැස්සක්. මම හැම වර්ගයේම වැහි වලට ආසයි. ඒක පොද වැස්සක් වුනත්, කදු නාය යන මොර සුරන වැස්සක් උනත්, මම ඒ දෙකටම ආසයි. එකෙන් මට වෙන්නේ හොදක්ද, නරකක්ද කියන දේ පවා නොතකා මම වැස්සට ආසයි...
මාර්තු 03, 2008

දැන් වහිනවා... මේක ටිකක් තද වැස්සක්. මම වැස්සට ආසයි. වැස්සේ සද්දෙට ආසයි. වැස්සේ සුවදට ආසයි. වැහි බින්දු මගේ ඇගට වැටෙනවට ආසයි.මට එතකොට දැනෙන්නේ හරියට, වැස්ස ලෝකේ පුරා ඇවිදලා ඇවිදලා එකතු කරගෙන ආපු සතුට, මගේ ඇග උඩට අංශු අංශු වෙලා වැටෙනවා කියල..මම වැස්ස එක්ක බදුන හැම දේටම ආසයි. වැස්ස එක්ක එහෙට මෙහෙට රවුම් ගහන හුළගට, වැහි බින්දු ලක්ෂ ගානක් කොළ අස්සේ හංගගෙන ඉන්න ගස් වලට, පීටාර ගලන පොකුණට,මිදුලේ හැදෙන මඩ වලවල් වලට,වැහි වතුර වැටුන මකුළු දැල් වලට... ඒ හැමදේටම මම ආසයි. ඇත්තම කියනවනම් මම ආදරෙයි...
මැයි 09, 2008

වහිනවා... මහා හයියෙන්... මිදුලේ මඩ වලවල් හැදිලා... වතුර පීල්ල දුම්හිද වෙලා... මම, තාමත් බෝට්ටු හදනවා.... හැබැයි කඩදාසි....මිදුල හම්බන්තොට වරාය වෙලා.. එත්, අයිස් කන්දක් නැතුවම මගේ Titanic ගිලෙනවා...වැස්සට තෙමිලම...!!!
පෙබරවාරි 28, 2012


මම 
වර්ෂාවට ප්‍රේම කලෙමි,
සිසිල සාදලන
ගිතයක් වූ,
වර්ෂාවට මම ප්‍රේම කලෙමි...

ඔබ හා ඇය ,
එහි තෙමුන බව
දැනගත් දා තෙක් 
මම වර්ෂාවට ප්‍රේම කලෙමි...

ඉන් පසුව
එය මට
ශෝකයේ මුසල
මොරගෑමක් පමණක්ම විය... 
කන් පුපුරවන,
කදුළු පුරවන
මොර ගෑමක් පමණක්ම විය...

අගෝස්තු 25, 2012


වැස්ස... හරි පුදුම දෙයක්... මැරුණු ජීවිත වලට සතුට, ජීවය දෙන, කදුළු පොකුරක්... දැන් හොදටම වහිනවා.. මම ඉන්නේ වස්ගමුව වන රක්ෂිතයේ මායිමේ සංචාරක බංගලාවක. හැම තැනම කොළ පාටයි.
මාස ගානක් අව්වට පිච්චි පිච්චි මරුන ගස්, එක පාරට පන ගහල.

ඇත්ත, වැස්සට පුළුවන් හැම දේටම පන දෙන්න. මරුන හැම දේටම පන දෙන්න. මරුන හිතකට උනත්...

 දෙසැම්බර්  22, 2012

Monday, April 30, 2012


මගේ හිතත් හරිය කලවම් මැල්ලුමක් වගේ... හැම වර්ගෙම පලා කොළ  අස්සේ, සුද්ද කරද්දී මග අරුණ තණකොළත් තියනව. හිතේ තියන දේවල් එලියට ඇවිත් සර්කස් පෙන්නද්දී ලියන්නේ මොකද්ද කියල හිත ගන්න බැරුව මම උඩ බලාගෙන ඉන්නවා...
එක වෙලාවකට හිතෙනවා මගේ පිස්සු කතා අහන්න කව්ද ඉන්නේ කියල... ඒත් හිතේ තියන දෙයක් වචන වලට හරවා ගත්තම කියාගන්න බැරි අමුතුම “kick” එකක් හිතට දැනෙනවා... බොක්කෙන්ම ලියන අයට තේරෙනවා ඇති මම මොකක්ද කියන්නේ කියල.... මගේ වචන සෙට් එක අවුල් කියල මම දන්නවා... කෙල්ලෙක්ට කොහොමටවත් වටින් නෑ... ඒත් ලියාගෙන ලියාගෙන යද්දී හිතේ තියන data වචන වලට translate වෙන්නේ මෙහෙමනම් මම මොකද කරන්නේ...මේක මගේ system  එකේන්ම එන අවුලක් මම හිතන්නේ.
කොහොමත් පොඩි කලේ ඉදන් මගේ system අවුල් කියල මට තේරුණා. ඒ කලේ ඉදන්ම මට  මාර ප්‍රශ්න තිබ්බේ... හදේ හාවෙක් ඉන්නවා කිව්වම, මට හිතුනේ මුන්ට පිස්සු කියල...  හාවා කිරි පැණි ගේනවා කිව්වම හිතුනේ මුන්ට හොදටම පිස්සු කියල.
පොඩි කලේ තිබ්බ තව ප්‍රශ්නයක් තමා, light ගියාම tv එක ඇතුලේ හිටපු එවුන්ට මොකද වෙන්නේ කියන එක...? හැබැයි ලෝකේ රවුම් කියලනම් මට ඒ කලේ ඉදන්ම තේරුණා... ඒත් මට තේරුනේ නැත්තේ රවුමක් ඇතුලේ අපි ඉන්නේ කොහොමද කියල.. 4 වසරේ අරම්භක විද්‍යාවට කියල දෙනකම් මම හිතන හිටියේ, අපි ඉන්නේ ලෝක බොලේ ඇතුලේ කියල... ඒත් මම කල්පනා කරා අපිට උඩින් තියන මුහුදවල් වල වතුර කොහොමද ඇගට වැටෙන් නැත්තේ  කියල. 6 වසරට යනකම් මම හිතන් හිටියේ ගංගාවල් ගලන්නේ මුහුදේ ඉදන් කියල.. ඇයි දෙයියනේ සිතියම් වල ඇදල තියන ඔක්කොම ගංගා මුහුදෙන් පටන් අරන් උඩට එද්දී නැති වෙනවනේ..? ඉතින් මම හිතුව උඩට එද්දී වතුර බෙදිලා ගිහින් ඉවර වෙනවා ඇති කියල....
හැබැයි ලොකු වෙනකම්ම මට තේරුනේ නැති එක දෙයක් තිබ්බ... තාමත් මට ඒක තේරෙන්නේ නෑ... ඇත්තටම cricket  ගහන්නේ කොහොමද... පොඩි කලේ ඉදන් සෙල්ලම් කරත් මට තාම ඒක තේරෙන්නැ.
ඒ කලේ අයිය මාව හැමදාම දාන්නේ බොලේ එන්නේ නැතිම පැත්තට... මොකද බොලේ ආවත් මම කවදාවත් එක අල්ල ගන්නේ නැති නිසා... හැබැයි අපේ පැත්ත bating වෙලාවට ඔහේ ඉදගෙන ඉද්දි , මගේ පැත්තට බෝලයක් අවොත් මම ඒක ටක් ගාල අහුලලා දෙනවා... ඉතින් batmen  ඔලුවේ අත ගහගෙන පොඩි කලේ දන්න ඔක්කොම නරක වචන කියල මට බනිනවා... ඉතින් මම අඩාගෙන ගිහින් අම්මට කේලම කියනවා...  කොල්ලොත් එක්ක සෙල්ලමට නොයා වැඩක් කරගන්නවා කියල අම්ම මට බනිනවා.... ඔන්න ඔහොමයි ඉස්සර මම cricket ගැහුවේ...
මම කිව්වනේ මගේ හිත, එහෙම නැත්නම් මනස, මොකක් හරි මගේ මේ සිතුවිලි දරාගෙන ඉන්න දේ, කලවම් මැල්ලුමක් වගේ කියල.. මම ලියන්න හිතාගෙන අවේ මොකක් හරි බරපතල දෙයක් ගැන, මේ දවස් වල මොකද මන්ද මට ටික ටික බරපතල දේවලුත් හිතෙනවා... ඒත් අන්තිමට මම ලියල තියෙන්නේ වෙනමම දෙයක්... හැබැයි හිතට ඔහේ ගලාගෙන ආපු පොඩි කලේ මතකයන්ට මම කැමතියි... ඒ නිසා මේ ලියවුන ටික මම මෙහෙමම post කරන්නම්...බරපතල දෙයක් ගැන වෙන දවසක ලියන්නම්...




Tuesday, February 28, 2012

එක දවසක්‌.....

ඊයේ කැම්පස්... රැ යාලුවෙක්ගෙ ගෙදර.... ෆිල්ම් එක බාගයක් යද්දී නිදි මරණ අපි දෙන්න, ෆිල්ම් එක පැත්තක තියල නිදා ගත්ත පාර නැගිට්ටේ අද උදේ පහට.... හය වෙද්දී ලැහැස්ති වුනා .... මගේ යාළුවා , ගොඩ වෙදකම් කරන්න ගිහින් කඩාගත්ත බැග්‍ එකේ පටියත් අතින් එල්ලන්,  හයයි දහය වෙද්දී අපි නැග්ග බස් එකට... දැන් අවම ගාස්තුව රුපියල් දහයි... කොස්වත්ත හන්දියෙන් බැහැල.... මම හෝල්ට් එකේ හිටිය 17ක්  එනකම්... ගෙදර එන්න. යාළුවා ගියා වැඩට....

නුවරට එද්දී 9.30යි... දිගන හෝල්ට් එකට ඇවිදගෙන එන ගමන් පරණ මතකයක් අලුත් කර ගන්න ගත්ත බූන්දි පර්සලෙත් පද්ද පද්ද මම  නැග්ග 654කට... ජනෙල් අයිනේ seat එකකට හෙත්තුවකුත් දාගෙන ඉද්දි.... මට මුණ ගැහුනා අපුරු මිනිසෙක්.... ඇත්තටම කවියෙක්... බස් එකට නැගල රුපියල් දහයකට තමන්ගේ කවි පොතක් විකුනපු කවියෙක්... business එක කරෙත් කවියෙන්මයි...  මමත් ගත්ත කවි පොතක්... බාල කොලේක, බාල print එකකින් ලියවුනත් ලස්සන කවි ටිකක්.... එකක් මෙතන ලියන්නම්...ගෞරවයක් විදිහට ඒ අපුරු කවියාට...මොකද  මේක මටත් වෙන වැඩක්...


හැමෝම නිදි
රියදුරයි, කොන්දොස්තරයි
ලොකු කතාවක්
ඉස්සරහින් යන
බස එක ගැන,
එකම එක අසන්නෙක්;
ඒ මම.....”                
                         -  නිලන්ත අසෝක -

ඊට පස්සේ ගෙදර ඇවිත් , 12 වෙන්නත් කලින් දවල්ට කාල, කියවන්න ගත්ත, අලුතින්ම මම ගත්ත කතා පොත.... නිශ්ශංක විජේමන්නගේ වැලන්ටයින් කුමාරයා....  මේ වැලන්ටින් කුමාරයව මම දන්නවා.  වෙලාවකට හිතෙනවා මේ එයාගේ කතාවමද කොහෙද කියල.... මම ඇස් ලොකුකරන් කියවනවා.... කතාවේ මම එන්නේ මොන පරිච්චේදයේ ඉදලද කියල.... මම වගේ අය එනවා...ඇවිත් යනවා....ඒත් තවම මම  කතාවේ නෑ.... කතාව නිමි වෙනකම්ම මම නාවොත් හොදයි කියල හිතෙනවා.... ඒ කතාවට මම බයයි... ඊට පස්සේ මම නිදා ගෙන... ඇහැරුනේ ඇරපු ජනේලෙන් අගට වැටුන පින්නට.....

වහිනවා... මහා හයියෙන්... මිදුලේ මඩ වලවල් හැදිලා.... වතුර පීල්ල දුම්හිද වෙලා....මම තාමත් බෝට්ටු හදනවා; හැබැයි කඩදාසි... මිදුල හම්බන්තොට වරාය වෙලා... ඒත්, අයිස් කන්දක් නැතුවම මගේ Titanic ගිලෙනවා.... වැස්සට තෙමිලම.... බෝට්ටු එක්කම මමත් තෙමිලා... තෙමුන කිකිළි ගේ ඇතුලට ගියාම, කෙලින්ම නාන කාමරේට...

නාන කාමරේ ඉස්සරහම සාලේ මේසේ උඩ තියන මගේ lap එක... ඉදල හිටලා  shut down වෙන මගේ lap එක... එකේ  කූඩැල්ල වගේ එල්ලිලා ඉන්න.. research, mini projects ගොඩ ගැහිලා තිබුනත්, facebook ඒකෙන් තොර දෙයක් නොදන්නා මගේ dongle එක...

එතනින් කෙලින්ම මෙගේ කාමරේට... ජනේලේ එහා පැත්තේ තියන කොස්  පැලේ, කොස ගහක් වෙනකම් මම උදේට ඉර පායන හැටි බලපු  මගේ කාමරේට... දැන්නම් උදේට පෙන්නේ කොස් ගෙඩි අස්සෙන් කාන්දු වෙන ඉර එලිය විතරයි...කන්නාඩි මේසේත් එක්ක කලවම් වුන පොත් මේසේ, ඇදුම් එක්ක කලවම් වුන ඇද... ඉඩ තියන තියන තැන්වල එල්ලපු පින්තුර, පොටෝ , ඉඩ මදිව රණ්ඩු කරන; පොඩි කලේ ඉදන් මම ලොබ කමට එකතු කරපු key tags, book marks....  ජෙල් කරලා උඩට පිරපු කොන්ඩේ style එකට අල්ල අල්ල, අවුරුදු පහක් තිස්සේ  දොරේ එල්ලිලා ඉන්න ෂාරුක්... බුදු අම්මෝ ... කවදනම් ඉවරයක්‌ කරන්නද; මේ කාමරේ අස් කිරිල්ල...හෙටම පටන්ගමු.... හැමදාම කියන සින්දුව....

ආයෙත් පල්ලෙහට ..... on කරපු lap එක ඉස්සරහ ඉදගෙන.... මම ලියනවා මගේ බ්ලොග් එක... ගොඩ කාලෙකින් මුකුත් ලියන්න බැරි වුන, එහෙම නැත්නම් ලියන්න තරම් දෙයක් නොතිබුන නිසා නොලිය හිටපු blog එක.... මේකට පස්සේ මම මොනවා කරයිද කියල දන්නේ නෑ... ගොඩක් වෙලාවට නිදා ගනියි.... ඉතින් මගේ අද දවස  එච්චරයි...

Sunday, January 22, 2012

ගිය අවුරුද්ද....

2012 අලුත් අවුරුද්ද ලබල අදට දවස් 22 යි . එත් ගෙවිල ගියපු මගේ පරණ අවුරුද්ද ගැන ටිකක් හිතන්න මට වෙලාව ලැබුනේ අද... ඉතින් මම හිතාගෙන හිතාගෙන  යද්දී තමා මට තේරුනේ ගිය අවුරුද්ද තමා අවුරුද්ද කියල... මොකද කියනවනම් ගිය අවුරුද්දේ මම ගොඩක් දේවල් ඉගන ගත්ත....පාඩම් වැඩ වලටත් වඩා මිනිස්සු ගැන...


ගිය අවුරුද්දේ මම ඉගන ගත්ත, යාලුවෝ කියල පෙන්නන හැමෝම යාලුවෝ නෙවෙයි කියල... එකට කෑවත් සමහරුන්ගේ අමාශ වල විවිධ වෙනස්කම් තියනවා කියල... එක මට තේරුනේ හැමදාම කාපු අල වෙනුවට ගෝව කන්න පටන් ගත්ත දවසේ... අලුත් කැම වලට අමාශ වෙනස් විදිහට ප්‍රතික්‍රියා කරන්න පටන් ගත්තම මට හිත ගන්න බැරි උනා... අවුල මගේ අමාශේද නැත්නම් උගේ අමශේද,, එහෙමත් නැත්නම් ගෝව වලද කියල... ඒ ගිය අවුරුද්දේ මම ඉගන ගත්ත පලවෙනි පාඩම...


තව මම ඉගන ගත්ත, ඕනවට වඩා අනුකම්පාව භූමි කම්පාවක් වෙනවා කියල... තව ඉගන ගත්ත ඔටුවන්ට කූඩාරම ඇතුලට ඔලුව දාන්න දෙන්න හොද නෑ කියල... ඇත්ත තමයි උන් නවතින්නේ මුළු ඇගම ඇතුලට දාගෙන මදිවට, අපිවත් එලියට දාල තමයි... ඒ මම ඉගන ගත්ත දෙවැනි පාඩම...


මම ඉගන ගත්ත තුන්වෙනි පාඩම තමයි,  facebook chatting වේරමණී සික්කා පදං සමාධියාමී....


තව පොඩි පොඩි පාඩම් ගොඩක් ඉගන ගත්ත. එත් මේවා තමා ලයිස්තුවේ උඩින්ම තියෙන්නේ. පාඩම් වලට අමතරව ගිය අවුරුද්ද ගොඩක් අත්දැකීම් වලිනුත් පිරිච්ච අවුරුද්දක්.. අලුත් යාලුවෝ හම්බ උනා... හිටපු යාළුවො නැති උනා... සමහරු ජීවිතේට ඇවිත්, කොරහත් බිදගෙනම ගියා... එතකොට ගිය අවුරුද්දේ මම ගොඩක් හිනා උනා... ඊට වඩා තුන් ගුණයක් විතර මට අඩන්නත් උනා... එත් හොදට හිතද්දී මට හිතෙනවා එකෙත් ඇති වරදක් නෑ කියල... ඇස් රතු වෙනකම් ඇඩුවට මොකද, ඒ  කදුළු මට හිනා වෙන්න ගට දුන්න...  එක අවුරුද්දට මම අවුරුදු දෙක තුනකින් ලොකු වුනා...ඒ නිසා මම තීරණය කරා ගිය අවුරුද්ද මගේ ජීවිතේ හොදම අවුරුද්ද කියල ලේබල් කරන්න...

Wednesday, December 14, 2011

සුද්දා...

දවසක් අපේ තාත්ත ගෙදරට කෙසෙල් කැනක්ම ගේනවා... ඉතින් ගෙදර හැමෝම සාලෙට වෙලා සහයෝගෙන් කෙසෙල් කැනේ ඇවරි කපන්න පටන් ගනිද්දී තමයි  දැක්කේ... කෙසෙල් කැනත් එක්කම තාත්ත පුංචි මී පැටියෙකුත් ගෙදර ගෙනල්ල කියල... මීයා  දැක්ක විතරයි  අපේ තාත්ත  නිකම්ම කඩා පනින හමුදාවක්‌ බවට පෙරලුනේ  බලාගෙන් ඉද්දිමයි ... ලග පාත තිබ්බ ලොකු සේරෙප්පුවකුත් ගත්ත තාත්ත  කප කප හිටපු කෙසෙල් කැනත් දාල මීයාත් එක්ක ද්වන්ද සටනකට එළබුනා... මීය නම් හිටියෙ ජීවිතෙත් මරණයත් අතර සටනක... අපේ තාත්ත දීනාගෙන එනකොට මගේ යටිගිරියෙන් කරන උපරිම විලාපෙට පින් සිද්ද වෙන්න මීයට  ජිවිත් දානේ අරන් දෙන්න මට පුළුවන් උනා... එත් මගේ සත්ව කරුණාව අනිත් දවසේ උදේ වෙද්දී පත්තු වෙලා තිබුනේ, මීය කරපු උදව්වේ ගුණේවත් නොතිය  අපේ ගෙදර ෆැන්ට්‍රි කබඩ් දෙකකම ලොකු හිල් දෙකක් හදල තියනවා දැක්කමයි .... මීය නිසා මුළු දවසම මමත් බැනුම් ඇහුව... අපරාදේ කියන්න බෑ කබඩ් ටික හදපු වඩුවත් නොසැහෙන්න අහගත්ත...

මී කරදරේ එන්න එන්නම වැඩි උනා...අරින අරින කබඩ් එකේ දොර ගැලවිලා අතට එද්දී අපේ අම්මට උදේට අහන බණත් අමතක උනා ... ඊලග පාර නුවර ගියාම මී පාසනම් පැකට් එකකුත් ගෙදර ගෙනාව අම්ම කවදාවත් වස ටික පැකෙට් ඒකෙන් එලියටනම් ගත්තේ නෑ...
 මොනවා උනත් සතෙක් මරල පව්‍ පුරවා ගන්නේ මොකටද කියල කල්පනා කරපු අපේ ගෙදර කට්ටිය, එක ස්වභාවධර්මයෙන්ම විසදන්න තීරණය කරා ... ඉතින් අපි දන්නා කියන හැම තැනම හොයල  බැලුව හොද පුස් පැටියෙක් ඉන්නවද  කියල...  අම්ම කිව්වා විදිහට එක පව් නෑලු... මොකද පුස මියව මරන්නම ඕන නෑලු .. පුස් සුවදට මීයෝ යනවලු... ඉතින් අපි බලාගෙන හිටිය කවදද අපේ ගෙදරට පුස් වීරයෙක් ඇවිත් අපිව මීයගෙන් බේරාගන්නේ කියල... කොහොම උනත් අන්තිමට අපිට පුසෙක් හම්බ උන... පැපොල් වත්තක් මැද හාමතේ ගුලි වෙලා හිටපු පුංචි පුසෙක්... කොටු කැලි වගේ කකුල් හතරකින් ටෙනිස් බෝලයක් විතර පිම්බිච්ච බඩක්‌  අමාරුවෙන් උස්සගෙන හිටපු එයාව අයිය  වාහනේ දාගෙන ගෙදර උස්සන් ආව...... හැබැයි ඉතින් අපිට පුසව හම්බ වෙද්දී ගෙදර හිටපු මීය වයසට ගිහින්ම මැරිලත් ඉවරයි...

මොනවා උනත් ගෙනාපු පුස් පැටිය ICE AGE  එකේ SID වගේමයි. අපරාදේ කියන්න බෑ වැඩ ටිකත් SIDගේ වගේමයි... ඉතින් එදා ඉදන් එයා  SID උනා... හැබැයි ඉතින් කළු සිංහලයෝ ඉන්න අපේ ගෙදරට SID පොෂ් වැඩි වගේ හිතුන නිසා ටික දවසකින් SID සුදු උනා... සුදු  ටික දවසකින් සුද්දා වුනා. සුද්දා හරි ශෝකේ පුසා. හැමෝගෙම හිත දිනාගෙන ජිවත් උනා ... උදේට අම්මත් එක්ක පිරිත් ඇහුව... සුද්දාගේ කල්ක්‍රියාව කොච්චර හොදද කියනවනම් වත්තට එන ලේන්නු කුරුල්ලෝ එයාව තබෙකට ගණන් ගත්තේ නෑ... කොහොම උනත් මීය බය කරන්න ගේනව අපේ පුසා  අන්තිමට නතර උනේ උපාසක බලලෙක් වෙලා... හැබැයි ඉතින් එයා  මීයෝ දෙක දෙක අල්ලනවා තියා  මේ ලෝකේ මීයෝ කියල සත්ව  කොට්ටාශයක් ඉන්නවා කියල වත් දැනන්  හිටියද කියල මටනම් විස්වාස නෑ.....  
කවද හරි හිතිලා තියනවද ඔයා  ආදරේ කරන කෙනෙක් මැරුණොත් කොයි වගේ වෙයිද කියල... සමහර විට ඒක දැනටමත් අත්දැකලා තියන අයත් ඇති... එහෙම නොවුනත්, නිකන් හිතල බලන්න... ඔය ආදරේ කරන කව්රුම හරි....

මල ගෙවල් වලට ගිහින් අපි අනන්තවත් අඩල ඇති... එත් නිකමට හරි හිතිලා තියනවද ඇයි අපි අඩන්නේ, ඇයි අපි ඇඩුවේ කියල...? හිතන්නේ ඒ නැති වුන කෙනා වෙනුවෙන් අපි ඇඩුව කියලද? නෑ... හොදට හිතුවොත් තේරෙයි අපි අඩන්නේ අපි වෙනුවෙන් කියල.... අපි අඩන්නේ, අපිට දුක හිතෙන්නේ ඒ කෙනාට මේ ලෝකෙන් යන්න වුන නිසාද??? එහෙම නැත්නම් ඒ කෙනා ගියායින් පස්සේ අපේ ලෝකේ හැදෙන හිඩැස පුරවා ගන්න බැරුවද...??? ඊලග පාර හොදට හිතන්න... ඔයා අඩන්නෙත් මම වගේම ආත්මාර්ථකාමී කමටද කියල..?